Tuesday, April 5, 2016

මරණය අබියස



                කරුවල........ මගේ වටේම පිරිලා තිබුණා....ඇඟිල්ලකින් ඇහැට ඇන්නත් පේන්නැති තරං පට්ට ඝන කරුවලත් එක්ක මුහුවෙච්චි ජරා පිළී ගඳක් ආඝ්‍රාණ සෛල මත්කරගෙන උඩට ගියා..... මං ඉඳියෙ බිම.... ඔව්.. බිම වැතිරිලා..... ටික වෙලාවක් යනකොට මට තව සංවේදන එන්න පටං ගත්තා..... මුලිංම ඒක පටං ගත්තෙ පිටකොන්ද පැත්තෙන්.... මගේ ඇඟ වහං උන්නු හම හැමතැනකින්ම පිපිරිලා යනවා වගේ අධික වේදනාවක් ඇඟ පුරාම ඇදිලා ගියා...... මං මගේ ඔලුව උස්සන්න උත්සාහ කරා.... ඔලුවෙන් ගලාගියපු මොනවද ද්‍රවයක් කම්මුල යටිං ගලා ගිහිං කම්මුල ඒ සීතල සිමෙන්ති පොළවටම අලවලා තිබුණා..... මට තවත් සංවේදන ආවේ නෑ...... මුලු ඇඟම මට අයිති නෑ වගේ දැනුනා..... ටික වෙලාවක් යද්දි මගේ අවටින් තවත් ප්‍රාණින් කෙඳිරිගාන හඬවල් මිමිණුම් ඇහෙන්න ගත්තා.... වේදනාව දරාගන්න බැරුව මං හයියෙං කෑගැහුවා..... ඒත් මගේ මුවින් පිටවුනෙත් පුංචි කෙඳිරියක් විතරයි..... මං කව්ද........ මං සරසවි ශිෂ්‍යයෙක්........

                  ඒ 88 මැද කාලෙ වගේ...... ගමේ ඉස්කෝලෙන් සෑහෙන කාලෙකට පස්සෙ විශ්ව විද්‍යාලෙට තේරුණේ මං..... විභාගෙ පාස්වෙන්න කලිං ඉඳලම ලොකු හාමුදුරුවො මට මල්ලිලා නංගිලට විද්‍යාවයි ගණිතෙයි උගන්නන්න එන්න කියලා තිබුණා..... මාත් ගොඩක් ආසාවෙන් ඒ ඉල්ලීම පිලිගත්තෙ ඉගෙනගත්තු දේ අනිත් අයට කියලා දෙන්න මාත් ආස උන හිංදා.... ආපු කාගෙන්වත්  තඹ දොයිතුවක් ගත්තෙ නැතිවුනත් රෑට කුප්පි ලාම්පුව පත්තු කරන්න භූමිතෙල් ටිකක් පන්සල් වත්තෙ ගහකිං පොල් ගෙඩියක් එහෙම ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණා..... මේ කාලේ රටේ ගොඩක් කලබල තිබුණා. තරුණ පිරිස් විශාල වශයෙන් සංවිධානය වෙලා රජයට එරෙහිව පෙලගැහිලා උන්නා....සරසවි ශිෂ්‍ය ප්‍රජාව වැඩි වශයෙන් මොවුන් එක්ක එකතුවෙලා හිටියා.... රජය මොවුන් මර්ධනය කරන්න අතිශය දරුණු ක්‍රමවේද යොදාගනිමින් හිටියා.....

                           විභාගේ පාස්වෙලා මං විශ්ව විද්‍යාලෙට තේරුණා කියලා දැනගත්තම මගේ අම්මට මාව නොයවා ඉන්න ඕන උනා. ඒකට ආසන්නම හේතුව උනේ අල්ලපු ගමේ ඉඳපු විශ්ව විද්‍යාල වරම් ලබපු අයියා හිටපු ගමං අතුරුදහන් උන එක... ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ව අතුරුදහන් කරනවා කියන මතය ගම හැමතැනම හොල්මං කලා.... ඒත් ලොකු හාමුදුරුවන්ගෙයි ඉස්කෝලෙ මහත්තයගෙයි දීර්ඝ කරුණු පැහැදිලි කිරිමකින් පස්සෙ අම්මගෙ හිත වෙනස් කරන්න පුළුවං උනා.... මං විශ්ව විද්‍යාලෙට ගියා......

                         මගේ ජිවිතේ වෙනස්වෙච්චි  දවස ටික ටික ලංඋනා.... ඔව් අමුතු කැප් එකක් දාගත්ත මූණ පුරා රැවුල වවපු කණ්නාඩි දාන හීන්දෑරි උස මනුස්සයෙක් එදා කෙලිං හිටවපු ලොකු බැරල් දෙකක් උඩ නැගලා ඇඟහිරිවැටිලා යන කතාවක් පැවැත්තුවා...... එදා ඒ කතාව අහපු මං දින කීපෙකට පස්සෙ ඒ බැරල් දෙක උඩම නැගලා කට්ටිය අමතන තැනට සෑමදෙයක්ම වෙනස් උනා. මගෙන් ඉගෙනගත්තු නංගිලා මල්ලිලාගෙත් දේශප්‍රේමි හැඟිම් අවදි කරන්න මට පුළුවං උනා.......

                              ****************

                         කෑගැහිල්ලක්......... අනුකම්පාව අයැදීමක්......... ලතෝනියක්........ මරහඬක්........ නිශ්ශබ්දතාවය....... ලෝහමය යමක් බිම වැටෙන හඬ.......... කොක්හඬලා සිනා පෑමක්..........

                         මං තාම හිටපු විදිහටමයි.... කොච්චර වෙලා මෙහෙම ඉඳියද මං දන්නෑ... තව ටිකකින් අර ඉරණම මටත් අත්වේවි..... මං බලාපොරොත්තුවෙන්........ අප්පච්චි කිතුලෙන් වැටිලා මියෑදුන දවසෙ ඉඳං මගේ පස්සෙං උන්නු මගෙ රත්තරං අම්මව මට මතක් උනා....... වේලිච්ච ඇස් කෙවෙනි කඳුළු ප්‍රතික්ෂේප කරා..... ඇඟපුරා  ඇදිච්චි වේදනාව ඉක්මවපු හිත් වේදනාව හදවත පලාගෙන දෝරෙ ගියා.....

                     මෙච්චර වෙලා අඳුරෙ තිබුණ මං උන්න තැන ටික ටික ආලෝකමත් උනා..... ඔළුව යංතම් ඒ පැත්තට හරවගන්න මට පුළුවං උනා..... විවර වෙච්ච දොරෙන් ඇතුලට එන යකඩ බම්බුවක් අතේ තියං උන්න රුවක් බොඳවෙලා වගේ මට පෙණුනා......

7 comments:

  1. පට්ට පොරක්නේ තමුසේ...👌

    ReplyDelete
    Replies
    1. ඉස්තූති වේවා..........!!!!!!

      Delete
    2. ලෙයින් යකඩින් මර්දනය කල නොනිමි අරගලය....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete